Monday, December 14, 2015

රන් භාජනය නොවිදිද විදිනා ගුල්ලා


දංගෙඩියෙන් වෙන්වූ ලක් ඉතිහාසයේ අවාසනාවන්ත රහස් ප්‍රේමය දස්කොන් ප්‍රමිලා 
ප්‍රේමයේ ළාමක බව හා ලෞකික බව ඇදහූ සමාජයක ඇතැම්හු එය අළාමක හා ලෝකෝත්තර බව විශ්වාස කළහ. විවාහය යනු ආත්මාර්ථකාමීත්වයේද, දේශපාලන බල ව්‍යාප්තියේද අවියෝජනීය සාධකයක් ලෙස සැලකූ යුගයක ඔවුහු එය පාරාර්ථකාමීත්වයේද, ප්‍රේමයේද අග්‍රඵලය යැයි ඔහු ඔප්පු කළහ. ඔවුනොවුන් වෙනුවෙන් ඉපද එකිනෙකා වෙනුවෙන් ජීවත්ව වෙන් වෙන්ව අවසන් ගමන් ගිය උත්තරීතර ආදරයක අවසානය කදුළු අතර වියැකී ගිය දස්කොන් ප්‍රමිලා ආදරය සැබවින්ම අතිශය සුන්දර වූවකි. 
දෙවැනි රාජසිංහ රජ සමයේ ඇති වූ යුද්ධයකදී එහි අවසානයේ රජ විජයග්‍රහණය සමරන අවස්ථාවේ ඇසුණු පුංචි ළමයෙකුගේ හැඬුම් ස්වරයක් සමග රජුගේ අවධානය ඊට යොමුවිය. ඔහු සිටියේ කෝන් ගසක් මුලය. එහිදී ඔහුට ‘%ගස් කොන්^ යනුවෙන් නම් ලැබුණු අතර, පසුව එය දස්කොන් බවට පත් විය. මෙයද ජනප්‍රවාදයකි. ඔහු හා බැඳි ජනප්‍රවාද රාශියක් ඇත. මෙය ඉන් එකකි.

http://supztermc.blogspot.com
https://supztermc.blogspot.com
කෙසේ හෝ මා හට අවශ්‍ය ඔහු ගැන කීමට නොව ඔහු හා ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ බිසවක වූ ප්‍රමිලා දේවිය සමග ඇති වූ අනියම් ප්‍රේමයෙහි අවාසනාවන්ත බව අද වත්මන් සමාජය තුළ ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම එහි අවසානයේ ශෝකාකූල බව හෙවත් අනියම් සුවයෙහි අවසාන ඵලයෙහි ඇති කර්කෂ බව පෙන්වා දීමටය.

දස්කොන් යනු ශාරීරික අංගයන්ගෙන් කාන්තාන්ගේ සිත් එකලු කළ රූපයක් හිමි තැනැත්තෙකි. අන්තඃපුර බිසෝවරු පවා ඔහුගේ රූපශ්‍රීයට  මන  බැඳගෙන සිටියහ. ප්‍රමිලාද එසේ විය. ඔහුගේ රූපයට ඈ වශී වි සිටියාය. කෙසේ හෝ රජු මාළිගාවේ නොමැති හැම අවස්ථාවකම ඔවුහු සිය නිදහස් සතුට ළඟා කරගත්හ.
දිනක් දස්කොන් ප්‍රමිලාට මෙසේ ප්‍රකාශ කරයි.
රන් මාලය පැලඳ ගෙන ගත සුවිපුල්ලා
ඉන් ආලය වඩයි මගේ හිත නුඹ පල්ලා
පන්දහසක් මැද තිබුණත් උඩ එල්ලා
රන් භාජනය නොවිදිද විදිනා ගුල්ලා
...රන් මාලය වැනි නුඹේ රුව දකින විටදි මගේ හිත ආදරයෙන් පිරවෙයි ප්‍රමිලා. කන්තාවන් දහසකුත් මැද නුඹ සිටියත් ප්‍රමිලා නුඹ වත දිස්නෙ දෙයි මා වත රාග ගිනි නංවා. රත්තරං රජ්ජුරුවන්ට පමණක් වුණාට එම තහනම සුව විදිනට අකමැතිවේද කවුරුන් නුඹ දුටු විට ප්‍රමිලා... 

යනුවෙන් දස්කොන් ප්‍රකාශ කරයි.
යන්නෝ මෙමග රෑ දහවල තොර වෙත්ද
බොන්නෝ මෙමග දිය බොර කරලා බොත්ද
දන්නෝ පහස ගෙට අඬගහලා දෙත්ද
දන්නෝ උපා මිණි බැඳි දොර නාරිත්ද
.....යන එනනන් රාත්‍රියේ මෙන්ම දහවල නැති විටද කාටත් හොරෙන් එනවාද මාගේ තුරුලට... යනුවෙන්  උපක්‍රමශීලීව ඔවුනොවුන් ආදරය විඳි අයුරු මනාව පැහැදිලි වේ.
මෙසේ සිටින අතරතුර මෛ සබඳතාව රජ්ජුරුවන්ට කන වැටෙනු ඇත. එසේ වුවද රජ්ජුරුවන් එය විශ්වාස නොකරන්නට විය. කාලයක් අවෑමෙන් ප්‍රමිලාට දුලභ රෝගයක් වැලඳෙනු ඇත. ඒ සඳහා බලි තොවිලයක් කළ යුතු බවත් ඒ සඳහා ප්‍රමිලාගේ පිළිමයක් මූර්ති ශිල්පියෙකු ලවා දස්කොන්ගේ අනුග්‍රහය ඇතිව අඹන ලෙසත් රජු විසින් අණ කරන ලදී.
එහිදී අඹන ලද රුවෙහි කිසිදු අඩුවක් නොවීය. එය ප්‍රමිලා මෙන් සමාන වුවද එහි අඩුවක් දස්කොන්ට දැනෙන්නට විය. ඔහු එහිදී ප්‍රමිලා බිසවගේ කලවෙහි තිබූ උපන් ලපය මුර්තියෙහි චිත්‍රණය කරන්නට විය. මෙය දුටු රජු තමා පමණක් දුටු උපන් ලපය හරියටම මෙසේ මූර්තිමත් වුයේ කෙසේදැයි කුහුලක් ඇති විය. ඒ සමගම රජ්ජුරුවන්ට සියල්ල සත්‍ය වශයෙන්ම අවබෝධ වීමත් සමගම දස්කොන්ට මරණීය දණ්ඩනය නියම විය.
මෙය දැනගත් ප්‍රමිලා මහත් වූ ශෝකයෙන් වෙළෙන්නට විය. මෙය දරාගත නොහැකිව ප්‍රමිලා ඔහු හමුවට සිරගෙදරට පවා හොරෙන් ගිය වග පහත කවිවලින් පැහැදිලි වේ.
සක්මන් කරන මළුවේ බැදි හාද
සිත් සතොසින් දුන් මුව මී බී වාද
ඉක්මන් ගමන් අහෝ නුඔ යනවාද
දස්කොන් මගේ නමට ජීවිතෙ දෙනවාද
....සක්මන් කරන මළුවෙහි නුඹ හා මා කොයිතරම් නම් සතුටින් කාලය ගත කළාද? අද නුඹට මරණය මා නිසා හිමි විය. මරණයට පෙර නුඹට මා නිසා මරණය හිමි විය. මට නුඹ නැතිව ජීවිතයක් නැත. මා නමින් නුඹ ජීවිතය මා හට දෙනවාද.........
යන්න ඇය හැඬුම් ස්වරයෙන් දස්කොන්ට ප්‍රකාශ කරයි.
විසැස් කමලාව රස පහස නොවිඳ මා
දසින් දුනි පොරණ ඇසු දුටු පමණ මා
වෙසෙස් ඔබගේ අමයුරු පහස ලත් මෙමා
මා හිස් එකක් දුනි නම් ඔබ නමට කිමා
............ඉතිහාසයේ සීතාව පැහැර ගත්තද රාවණා රජුට ඇයගේ ශරීර ස්පර්ෂය විඳ ගැනීමට නොහැකි විය. ඔහු ඇගේ රූප ස්වභාව පමණක් සියැසින් පමණක් දැක තම හිස් දහසම අහිමි කර ගත්තේය. එසේද මා නුඔ රූප ශ්‍රීය, ශරීර ස්පර්ෂය, නුඹ පහස, උණුසුම, මන්මත් වූ නුඹ දෙතොල්  මා හට හැකි උපරිමයෙන් මම නුඹ විඳ ගත්තෙමි. හිතින් මෙන් ගතිනුත් ඒ නිසා මා ඔහුට වඩා මහත් භාග්‍යවන්තයි. නුඹ වෙනුවෙන් එක් හිසක් දන් දීමට සිදුවීම මා හට කිසිදු දුකක් නැත........

ලිව්වේ - සෙහානි







 

11 comments:

  1. අද තමයි මේ පැත්තට මුලින්ම ආවේ කියා හිතනවා. බොහොම හොඳයි. ප්‍රේම වෘතාන්තයක් තුළින් සාහිත්‍ය රස වින්දනයටත් අවස්ථාවක් ලැබීම ගැන සතුටු වෙනවා. අගය කරනවා.

    අර එක කවි පදයක තියනවානේ, // දන්නෝ උපා මිණි බැඳි දොර නාරිත්ද// කියලා. ඒ කියන්නේ ඒ කාලෙත් අද තියන door bell ක්‍රමයේ උපක්‍රම තිබිලා තියනවා. දොරේ මිණිගෙඩි බැඳ තැබුවාම, දොර අරින්නට උත්සාහ කලොත්, මිණිගෙඩි සෙලවීමෙන්, එක්තරා විදිහක අනතුරු ඇඟවීමක් සිදුවෙනවා. ඉතින්, ප්‍රමිලා කියන්නේ, උපාය tactics දන්නා පුද්ගලයාට, හඬ නොනැගෙන පරිදි, දොර ඇරගැනීම මහ කජ්ජක් නෙවෙයි කියලා. දස්කොන් හමුදා නිලධාරියෙක්නේ. :D

    ReplyDelete
    Replies
    1. ඔව් එක ඇත්තටම. ඒ වගේ උපක්‍රම අතිතයේ තියෙන්න ඇති බවට මෙය උදාහරණයකි. බොහෝම ස්තුතියි විචාරක මේ පැත්තට ගොඩ වුණාට. ආයෙත් මේ පැත්තට ඇවිත් යන්න එන්න.
      ජයවේවා...!

      Delete
    2. මම අහලා තියන විදිහට මෙක ටිකක් වෙනස් විදිහට" මිණි දොර නම් " උපමා කොට ඇත්තේ කන්තාවකගේ ඇදුමක් වන මණිමෙකලාවටයි. රස හදුනන්නෝ දොර නරිත්ද අන්න ඒ වගේ.

      Delete
  2. දන්නෝ උපා මිණි බැඳි දොර නාරිත්ද... යන්න දස්කොන්ට කියා තියෙන්න‍ෙ අන්තඃපුර බිසවක් කියා මං අසා තියෙනවා.අනෙක් අතට ලංකාවෙ ලස්සනම පෙම කවිය විසැස් කමලාව කියා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. දස්කොන් ප්‍රමිලා වටා ගෙතුනු විවිධ ජනප්‍රවාද රාශියක් තියෙනවා. ඔව් මාත් අසා තිබෙනවා අතන්තපුර බිසවක් එසේ ප්‍රකාශ කර ඇති බව. අත්තටම වියැස් කමලාව ඉතාමත් අපූර්වතම විශිෂ්ටතම ව්‍යාංග්‍යාර්ථ එමෙන්ම සංකල්පරූප පුද්ගල මනස තුළ සන්තර්පණය කිරිමට සමත් කවියක් බව ඔබ මෙන්ම මාද පිළිගැනිමට කැමතියි.

      බොහෝම ස්තුතියි වැසි දැරිය.
      ජයවේවා...!

      Delete
  3. ගොඩක් ලස්සනයි සෙහානි...
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි මහේෂ්..... ආයොත් මේ පැත්තට ගොඩ වෙලා යන්න එන්න.
      ජයවේවා....!

      Delete
  4. අනියම් සබඳතාව කෙනෙකුට සොඳුරු මිහිරක් වෙද්දි ඔහුට/අැයට පෙම් කරන කෙනෙකුට එය පණ පිටින් ගින්ගන්නවා වගේ දැනෙන මහ දුකක් වෙන්න පුළුවන්... ළබැඳියන්ගේ සිතේ දුක නොහඳුනන කෙනෙකුට එය එතරම් දෙයක් නොවෙන්නත් පුළුවන්.. අනියම් පෙම නිසා බිරිඳ/ සැමියා මරා දමන, නැතිනම් පණ පිටින් දවන මිනිසුන් ගැහැනුන් පිළිබඳ පුවත් ඇසෙන්නේම ඒ නිසාවෙන්. එපමණක්ම නම් කම් නැත. අනියම් පෙම නිසා මොළකැටි දුව පුතා ඝාතනය කරන මවු/පියවරුන් ගැනත් අසන්නට ලැබෙනවා.. දස්කොන් ප්‍රමිලා අනියම් පෙම තුළ සුන්දර ආදර කතාවක් තියෙන්න පුළුවන්. ඒත් කෙනෙකුට වෙන් වූ පසු තවකෙකු හා මෙවුන්දම් කෙළීම මිහිරක් වුවත් සැබවින්ම භයානක පවක් කෙදිනක හෝ ඵලදරන...

    ලියවිල්ල කදිමයි
    ලිවීම දියුණු වී තිබෙන බව කිව යුතුයි. වාක්‍ය පටන් අරන් අවසන් කරන විට එහි අර්ථය මහහැරී යන අයුරු පෙර ලිපිවල දුටුවත් මෙහි එවන් ලුහුඩුකම් නැති බවද කිව යුතුයි. දිගටම ලියන්න. වෙනස් සහ කියවීමට සිතෙන ලිපි..
    ජයවේ සෙහානි

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්තටම අන් අයෙකුට අයිති නම් තමන්ට ද පවුලක් බිරිදක් සිටි නම් පරදාරසේවනය අතිශය වරදකි. එය කුසල අකුසල කර්මයන්ගෙන් අකුසල කර්මයට යටත් වන පාපකාරිතම ක්‍රියාවකි. ආදරය කිරිම වරදක් නැත. එහෙත් ආදරය අනියම් නම් එය සම්පුර්ණ වරදකි. පුද්ගල හිතෙහි සිතුවිලි පලනය නම් අනිවාර්ය විය යුතුය. කෙසේ වෙතත්අ නියමෙහි ඵලය නම් කර්කෂ කටුකය.

      බොහෝම ස්තුතියි වර්ණ.
      ජයවේවා....!

      Delete
  5. මගේ ටෙම්ප්ලේට් එකේ දෝෂයක් ඇවිත් බලොග් එක මඟ හැරිලා ගිහින් තිබුනේ.ඔන්න ආයෙත් හමුවුනා.නැවත මඟ හැරෙන්නේ නැතිවෙන්න ෆලෝකලා...

    වෙනදා වගේම මේ ලිපියත් උසස් විදියට ලියලා තිබෙනවා.මට මඟ හැරුන ලිපි කිහිපයත් කියවලම බලන්නම්කෝ...

    ReplyDelete
    Replies
    1. ආයෙත් අසෙනි වැස්සේ තෙමෙන්න ගොඩ වුණාට බොහෝම ස්තුතියි මනෝ මන්දිර. දිගටම අපිත් එක්ක ඉන්න.
      ජයවේවා....!

      Delete

වැටුණු වැහි බිඳු

Popular Posts