Thursday, December 3, 2015

ආදරය විවාහය කඳුළකින් කෙළවර නොවීමට.......



පුද්ගලයෙකු ජීවිතය තුළ විවිධ කඩඉම් පසුකරයි. බිළිඳා, දැරිය,  දරුවා, ළමයා, ශිෂ්‍යයා, තරුණයා තරුණිය, යනාදී  අයුරින් ජීවන චක්‍රයක් පුද්ගලයාට හිමිව තිබේ. මෙහිදී තාරුණ්‍යත් සමග තරුණියක් තරුණයෙක්  සමග ආදරය ඇති විය  හැකිය. එහිදී ඔවුන් තම ආදරය සිතුවිලි හැඟීම් දුක, සැප, සතුට  යනාදී මෙසේ  ඔවුන් සමග බෙදාගනිති. 
නමුත් ප්‍රශ්නය නම් ඇත්තටම  ආදරය කිරීමට  දෙදෙනා තුළම තිබීය යුතු අවබෝධය උනුන් අතර පවතිනවාද යන්නය. ආදරය කළද තේරුම් ගැනීම බොහෝ සේ  අඩුය. හැම මොහොතකම ගැටුම් මෙන්ම රණ්ඩුවද ඔවුන් අතර සුලභ විය හැකිය.
බැඳීමකදී නිරතුරුව අවබෝධය තේරුම් ගැනීම ඉවසීම වැදගත් මූලික අවශ්‍යතාවකි. තහංචි කොන්දේසි මත නම් කෙදිනකවත් ආදරය රඳා පවතිනු  නැත. ඇයව ඔහුව ආරක්ෂා කිරීමට දෙපක්ෂය නම් නීති ඇති කළද ඉන් සිදුවනුයේ නීතිය මෙහෙයවන්නා විසින් අනෙකාගේ නිදහස සීමා කිරීමකි.


ආදරය ඉන් පසු විවාහය දක්වාද ගමන් කරයි. නමුත් ආදරය කරන අයම විවාහයද නොවෙති. විවාහය කොටස් දෙකකින් යුක්ත වේ. එනම්, ආදරය කොට විවාහ වීම නැතහොත් කලක් සිට ආදරය කොට විවාහ වීමද? නැතහොත් යෝජනාවක් මඟින් විවාහ දිවියට එළැඹීමද  සිදුවේ. මේ කොයි අයුරින් විවාහ වුවද අද වනවිට වත්මන් සමාජය තුළ විවාහයට විරුද්ධව සිටින දික්කසාදය අද වනවිට එයට සමාන වචනය වී ඇත. නැතහොත් කුටුම්භය තුළ ඇති වන ප්‍රශ්නවලට සරලම විසඳුම ලෙස අඹු සැමියන් විසින් අද දික්කසාදය යන උත්තරයක් කර ගැනීමට  වත්මන් සමාජය තුළ සුලභ වී ඇත.
දෙමවුපිය ආශීර්වාදය මැද තම ආදරය දෝත පුරාවට ගෙන එක නිවසක තම ස්වාමි භාර්යා යුතුකම් ඉටුකිරීමට පොරොන්දු වෙමින් නීත්‍යනුකූලව මාගේ බිරිඳ ස්වාමියා ලෙස භාරගන්නා බවට  සියල්ල ඉදිරියේ ප්‍රතිඥා දෙමින් තම පැතුම් ප්‍රාර්ථනා බලාපොරොත්තු පොදි පිටින් රැගෙන තම විවාහ දිවියට එළඹෙනුයේ අසීමාන්තික හීන රාශියක් තුරුලු කොට ගෙනය. ටික කලකට පසුව ඇති වන ප්‍රශ්න හමුවේ අවබෝධය ආදරය ඔවුන් අතරින් පැන ගොස් පොලීසියට උසාවියට ගොස් නීතිය ඉදිරියේ තම බිරිඳගේ ස්වාමියාගේ වැරදි කියනුයේ  එදා ආදරය කොට විවාහ වූ තම බිරිඳද ස්වාමියාද තමන් සමග එකට දුක, සැප, සතුට බෙදා ගත් තම ස්වාමියාද බිරිඳද යන වග අමතකව ගිය වුන් විලසිනි.
ඇත්තටම දික්කසාදය අඹුසැමියන් විසින් පිළිතුරක් කර ගනුයේ කිනම් හේතුද? එයට බොහෝමයක් හේතු බලපානු ඇත. එකිනෙකාට දෝෂාරෝපණය කර ගනුයේ කට පුරා කියූ ආදර ආමන්ත්‍රණය වෙනුවට පරුෂ වචනවලිනි. කෙසේ නම් මේවා විශ්වාස කරන්නද ඇත්තටම පවුල තුළ කොතැනක වැරැද්දද? දෙපක්ෂය විසින්ම ඉටුවිය යුතු යුතුකම් වගකීම් එමෙන්ම විශ්වාසය, එකිනෙකා කෙරෙහි ගෞරවය නොකිරීම අවශ්‍යතා වුවමනා ඉටුනොකිරීම, අනාවබෝධය යන මේ සියල්ලම හේතු සාධක විය හැකිය.
බිරිඳ පුරුෂයාද විවාහ වන අවස්ථාවේ තමන් විසින් පරදාර සේවනය නොකරන බවත් මාගේ බිරිඳ ස්වාමියා ඇරෙන්න තවකෙකු මා හට අවශ්‍ය නොවන බවට සපථ කළද උන් කරනුයේ ඉන් පසු එම පොරොන්දුව කඩකිරීමය. විටෙක පවුල තුළ ඇතිවන දරිද්‍රතාවයද  එය දරාගත නොහැකිව ස්ත්‍රිය හා පුරුෂයා අතර ඇතිවන දුරස්ථ බව ගැටුම මෙහි මූලික ආරම්භයද විය හැකිය.
ඉන් පසු රැකියාවට යාමෙන්ද මව විදේශගත වීමද යනාදි බොහෝ කරුණු කාරණා මේ සඳහා බලපානු ඇත. අනියම් සුවය ස්ත්‍රිය තුළ හෝ පුරුෂයා තුළ ගොඩනැගෙනුයේ මන්ද තම පතිවත රැකගෙන එම ස්වාමියා මත යැපීමට බිරිඳ සේම ස්වාමියාද අමතක කරනුයේ තම පවුලද විටෙක තම දරුවන්ද අමතක කරමිනි. ඔවුන් එම අනියම් ප්‍රේමය සුව විඳිනුයේ තමන් විවාහක කුටුම්බයක් ඇති ස්ත්‍රියක එමෙන්ම තම දරුවන් ඇති පුරුෂයෙකුද යන වග අමතක කරමිනි.
තම මුදල, කාලය වුවද ඔවුන් වෙනුවෙන් වැය කරනුයේ තම ස්වාමියාට බිරිඳට දහසකුත් බොරු කරමිනි. නීත්‍යනුකූල නොවන අනියම් සුවයෙන් ලබන සතුට කුමක්ද? යන්න පැහැදිලි කළ හැක්කේ ඔවුනටමය. එහි මූලිකම පරමාර්ථය නම් ලිංගිකව විඳිනු ලබන ආශාවන් විය හැකිය. නැතහොත් තම ස්වාමියා බිරිඳගේ අධික කාර්යබහුලත්වය, තම මානසික පීඩාව, ආකර්ෂණය, විටෙක පවුල තුළ ඇති ගැටුම යන කාරණා රාශියක් මෙයට බලපෑ හැකිය.
කෙසේ හෝ මෙහි අවසානය නම් සුන්දර නැත. එහිදී ලැබෙන ප්‍රතිඵලය නම් මරණය, දෝෂාරෝපණය, නීතිය ඉදිරියට යාම, සමාජයේ වැරදිකාරයෙකු ලෙස අන් අයගේ අප්‍රසාදයට පවා ලක්වීමට සිදුවේ. තම කුටුම්භය වුවද දෙදරා විනාශ වී යාමට හැකිය. වැරදි කරපු පාර්ශ්වය රැවැට්ටු පුද්ගලයාගේ දැඩි පිළිකුළට පවා ලක් වේ. මේ සියල්ල අවසානයේ එකම විකල්පය වන වෙන්වීම නැතහොත් දික්කසාදය ඔවුන් තෝරාගනු ලබයි.
අද වනවිට බටහිර සංස්කෘතිය තුළ තමාට නොගැළපේ නම් ඔහු හා සමග නිදි වැදුණද වෙන්වීම එම කාන්තාවට කිසිදු බලපෑමක් නොකරයි. ලාංකීය සමාජය තුළ සංස්කෘතියට හිමිකම් කියන කන්තාව එසේ කිරීමට නොහැක. ඇය කන්‍යාවියක විය යුතුය. එසේ නොවුනහොත් කාන්තාවට විවාහයක් කරගැනීමට නොහැක.
උසස් සමාජය තුළ උගත්කම් සහිත පුද්ගලයන් අතරද අද මෙවැනි දෑ සිදුවේ. එහිදී කාන්තාව කොයිතරම් අසරණ වනවාද? ඉන් පසුවද ඇය තවත් කෙනෙකු ළං වේ. එහිදීද ඔහු ඇයව මගහරිනු ඇත. එමගින් අවජාතක දරුවන් වුවද බිහිවිය හැක. තවත් කන්තාවක් අසරණ කරනුයේද පිරිමියෙකුමය. බටහිරකරණය විවාහයටද ආරෝපණය වී ඇත.
මෙහිදී විවාහය දික්කසාදයක් නොවීමට නම් පුද්ගල අවබෝධය, එකිනෙකාට ගරු කිරීම, විශ්වාසය, ස්වාමි භාර්යා යුතුකම් වගකීම් ඉටුකිරීම, දෙපක්ෂයටම අවශ්‍ය අයුරින් විවාහ ප්‍රීතිය තිබීම යනාදී සියල්ලන්ගෙන්ම පරිපූර්ණත්වයක් තිබිය යුතුය. එසේ නොවන්නේ නම් විවාහය කිසිදාක රඳා පැවැත්මක් නොමැති වනු ඇත.

ලිව්වේ - සෙහානි

7 comments:

  1. කවි සහ විමසුම් ලිපි ලෙස ඔබ බ්ලොගය සමබරව පවත්වාගෙන යන අයුරු මනාය.
    ලිපිය ගැන කියන්නේ නම්....
    මෙය කතා කළ යුතු මාතෘකාවක් සේම සමාජයේ විනිවිදින සත්‍යයකි. ඔබ මීට පුවත්වලින් නිදසුනක් එක් කළේ නම් මෙහි ජීවී ගුණය තවත් ඉසුමතු වන බව මගේ හැඟීමයි. අප එකිනෙකා කෙරෙහි පවත්නා අවබෝධය හා අනෙකා කෙරහි නම්‍ය ශීලී වෙමින් ඇගේ හෝ ඔහුගේ තෘප්තිය වෙනුවෙන් කටයුතු කරන්නේ නම් බොහෝ සමාජ ගැටලු අවම කර ගත හැකි බව මගේ අදහසයි.
    අසෙනි වැසිහි කවි ලියන ලක්ෂාන් සහ විමසුම් ලියන සෙහානි දෙපළට ඉදිරියටත් අපව අසෙනි වැසි වලින් තෙමනු පිණිස සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතිියි වර්ණ කුලසූරිය අපිත් එක්ක මුල සිටම අපේ අඩුපාඩුකම් පෙන්වමින් දිගටම සිටියාට.ඉදිරියේදීත් අසෙනි වැසි එක්ක ඉන්න.
      ජයවේවා....!

      Delete
  2. බටහිරකරණය විවාහයටද ආරෝපණය වී ඇත.. අසෙනියෝ මට මේක තේරෙනවා මදි.

    ReplyDelete
    Replies
    1. බටහිරකරණය විවාහයටද ආරෝපණය වී ඇත......... බටහිර සමාජය තුළ විවාහය යනු බිඳෙන සුලු තවත් එක් බැඳීමක් පමණක්ව ඇත. විවාහ වීමත් දික්කසාද වීමත් ඔවුන්ට සාමාන්‍ය දේවල්ය. නමුත් ඒ නිසා ඔවුන් ලෙයින් බිහිවන දරුවන්, ඔවුන්ගේ බිඳෙන සිත් අසරණ වන සිත් ගැන ඔවුන්ට නිනව්වක් නැති සේය. මගේ අම්මා අම්මා වී තාත්තා දෙවැන්නෙකු වුවහොත්? තාත්තා තාත්තා වී අම්මා දෙවැන්නියක වුවහොත් මට දැනෙන හැඟීම ඉතා දුක්බර එකක් වනු නොඅනුමානය. නමුත් වාසනාවකට මට එවැන්නක් සිදු නොවුණි. නමුත් එවන් ඉරණමට මුහුණ දෙන දරු සිත් කීයක් ඇත්ද? බටහිරකරණය විවාහයටද ආරෝපණය වී ඇත යන්නෙන් අදහස් කළේ එයයි. අතීතයේ බොහෝ කාන්තාවෝ දුක් කම්කටොලු ඉවසා දරුවන් වෙනුවෙන් විවාහය නොකැඩූහ. නමුත් අද දවසේ අම්මලා තම ජීවිතය ගැන පමණක් සිතා දික්කසාදය ඉල්ලුම් කර තිබෙනු දික්කසාද වනු සංඛ්‍යා ලේඛන තුළින්ම පිළිඹිබු වී ඇත. බටහිර සමාජයේ විවාහය දික්කසාදය විවාහය දික්කසාදය මෙරට සිත් වලටත් ආරෝපණය වී නැතැයි නම් කිව හැකිද?
      ජයවේවා සබරේ ඇනෝ මෙවැනි දේ විමසීම අප තුළ බැඳීම තවත් තහවුරු වනු ඇත........

      Delete
    2. //අතීතයේ බොහෝ කාන්තාවෝ දුක් කම්කටොලු ඉවසා දරුවන් වෙනුවෙන් විවාහය නොකැඩූහ.//
      මීට නිදසුනක් ලෙස ඉඳුනිල් සින්දු කවියාගේ පහත පැදි පෙළ උපුටා දක්වමු
      පොලු මුගුරු පාරට බිඳුණු මුත් ඇටසැකිලි කටුගේ
      අපේ ඇස්වල කඳුළු දැකලා නොකැඩුවද දීගේ
      දෙදරලා හඬ නගන බිත්තිය පෙන්නුවිට ආලේ
      ළය මඬල උණුවුණා කිරිවල ලේ රහට අම්මේ
      හීන ඉහිරුණු සල්පිලට නුඹ දරදියයි ඇද්දේ
      තාම හයියෙන් දුවන නුඹගේ කඳුළු නෑ දැක්කේ
      වන්දනාවක යන්න පින්නැති ජීවිතේ හිරගේ
      හිස් අතිම්මම පස්වෙලා යයි නුඹත් මගෙ අම්මේ

      Delete
  3. මම නං මේ වගේ මගුල් කියවන්නේ නැහැ. නිකං දාර්ශනික වෙනවා විතරයි අනේ..

    ReplyDelete
    Replies
    1. ඉඳලා හිටලා මේ වගේ මගුලුත් කියවපන් දේශකයෝ...
      ජයවේවා දේශකයා

      Delete

වැටුණු වැහි බිඳු

Popular Posts